කොටුව අධිකරණ නියෝගයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අභියස අට්ටාල ඉවත් කෙරේ

0
16

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට ගාලු පාර ආසන්නයේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහයේ තාවකාලික කූඩාරම් සහ අට්ටාල ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබේ. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද ආඥාවකට අනුව ය.

මහා සංඝරත්නයේ ප්‍රමුඛත්වයෙන් මහනුවර සිට දින පහක් තිස්සේ පාගමනින් පැමිණි ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ සංවිධානය කළ පිරිස, ඊයේ දිනයේ සිට මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අභියස මාර්ගයේ රැඳී සිටිමින් සත්‍යග්‍රහයේ නිරත වූහ.

නමුදු, අදාළ ප්‍රදේශය දැඩි ආරක්ෂක කලාපයක් වන බැවින් මහජන පීඩාවක් සිදුවන අයුරින් විරෝධතාවල නිරත වීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි. මෙම කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර, පොලිස් නිලධාරීන් විසින් එම අධිකරණ ආඥාව විරෝධතාකරුවන් වෙත කියවා භාරදීමට කටයුතු කළේය.

අධිකරණ නියෝගයට අනුව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 30 නමකටත්, උදය ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලනඥයින් 18 දෙනෙකුට සහ සිවිල් පුද්ගලයින් 11 දෙනෙකුට මහජනතාවට පීඩාවක් වන අන්දමින් එම පරිශ්‍රයේ රැඳී සිටීම තහනම් කර ඇත.

මහනුවර සිට කොළඹ දක්වා පැමිණි මෙම පාගමනට ආරක්ෂක අංශ විසින් ඉඩකඩ සලසා දී තිබූ අතර, ඔවුන් කොළඹට පැමිණීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති කාර්යසාධන ප්‍රධානියා පැමිණ ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන්දෙමින් විසඳුම් ලබාදීමට කාලය ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, එම සාකච්ඡාවලින් පසුවද පිරිස නොසන්සුන් ලෙස එම ස්ථානයේ රැඳී සිටි බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

අධිකරණ නියෝගය ලැබීමෙන් අනතුරුව, මාර්ගය අවහිර වන පරිදි සකසා තිබූ සියලුම තාවකාලික ආවරණ සහ අට්ටාල ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here