කැලිෆෝනියා තැපැල් ඡන්ද 20,000ක් වෙන්කර තබන ලෙස කළ ඉල්ලීම ෆෙඩරල් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
17

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තැපැල් ඡන්ද පත්‍රිකා 20,000ක් පමණ වෙනම වෙන්කර තබන ලෙස ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම එරට ෆෙඩරල් අධිකරණයක් විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමෙන් දැනට ක්‍රියාත්මක ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියට බරපතළ බාධා එල්ල විය හැකි බව පෙන්වා දෙමින් කැලිෆෝනියාවේ මධ්‍යම දිස්ත්‍රික් ෆෙඩරල් අධිකරණ විනිසුරු ඩේවිඩ් ඕ. කාටර් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු පුරවැසිභාවය නොමැති පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා මෙම තැපැල් ඡන්ද පත්‍රිකා වෙන්කර තබන ලෙස අධිකරණ දෙපාර්තමේන්තුව හදිසි නඩුවක් ගොනු කරමින් ඉල්ලා තිබිණි. කෙසේ වෙතත්, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රාන්තයට තම මැතිවරණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවත්, තහවුරු නොකළ චෝදනා මත නීත්‍යනුකූලව ලියාපදිංචි වූ ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට ඉඩ දිය නොහැකි බවත් විනිසුරුවරයා අවධාරණය කර ඇත.

මීට පෙර අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ කැලිෆෝනියාවේ ලියාපදිංචි ඡන්දදායකයින් 190,000ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුසු විදේශිකයින් විය හැකි බවයි. ඉන් පුද්ගලයින් 20,000කගේ ලැයිස්තුවක් මැතිවරණ බලධාරීන් වෙත ලබාදී තිබුණද, මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ලැයිස්තුවේ සිටින ඇතැම් පුද්ගලයින් අමෙරිකාවේ උපත ලැබූ පුරවැසියන් බවත්, තවත් පිරිසක් සක්‍රීය ඡන්දදායක ලැයිස්තුවල නොමැති බවත්ය.

කෙසේ වෙතත්, මෙම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පාලනයේ අධිකරණ දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇති අතර, ප්‍රාන්ත මැතිවරණ ක්‍රියාවලියට ෆෙඩරල් රජයට මැදිහත් විය හැකි සීමාව තීරණය කරන වැදගත් නීතිමය පරීක්ෂණයක් ලෙස මෙම නඩුව සැලකේ.

මූලාශ්‍රය : CNN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here