කැලණි ගංගා ද්රෝණියේ ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින්, වත්තල සහ පෑලියගොඩ ප්රදේශ ආවරණය වන මුදුන් ඇළ උප ද්රෝණියේ පොම්පාගාරයක් වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් බිලියන 2.179ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.56ක) ප්රදාන ආධාරයක් ලබාදීමට එකඟ වී තිබේ. ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ක්රියාත්මක වන මෙම ව්යාපෘතියට අදාළ හුවමාරු පත්ර සහ ප්රදාන ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා (28) මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේදී සිදු විය. ඒ සඳහා ශ්රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද, ජපාන රජය වෙනුවෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති ISOMATA Akio සහ JICA ප්රධාන නියෝජිත HONZU Shigeo යන මහත්වරුන් ද එක්වූහ.
වත්තල සහ පෑලියගොඩ ප්රදේශවල මුදුන් ඇළ උප ද්රෝණියේ පවතින ගංවතුර ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලබාදීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන අතර, ඒ යටතේ තත්පරයකට ජලය ඝන මීටර් 15ක් බැහැර කළ හැකි නව පොම්පාගාරයක් සහ නවීන ‘SCADA’ අධීක්ෂණ හා පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවලදී වැසි ජලය කාර්යක්ෂමව බැහැර කිරීම තුළින් ප්රදේශයේ ගංවතුර අවදානම සැලකිය යුතු ලෙස අඩු කිරීමටත්, ප්රදේශවාසීන්ගේ ජීවනෝපායන්, ව්යාපාරික ආයතන, කර්මාන්ත සහ ප්රවාහන යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.
පෑලියගොඩ ප්රදේශය ප්රධාන වාණිජ, සැපයුම් හා ප්රවාහන කේන්ද්රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට මෙන්ම කොළඹ මහනගර කලාපයේ ගංවතුර කළමනාකරණය හා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට මෙම ව්යාපෘතියෙන් විශාල සහායක් ලැබෙනු ඇත. ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) විසින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට නියමිත අතර, මෙය ශ්රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය, ආපදා අවදානම් කළමනාකරණය සහ තිරසාර නාගරික සංවර්ධනය සඳහා ජපානය ලබාදෙන අඛණ්ඩ සහයෝගයේ තවත් සන්ධිස්ථානයකි.

