“කළුතර දිස්ත්‍රික් මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ අරමුණ වූයේ මුස්ලිම්වරු රටට බරක් නොව රටට , සමාජයට දායක විය හැකි පිරිසක් බවට පත් කිරීමයි”- ඉම්තියාස් බාකීර් මාකර්

0
16

“මුස්ලිම්වරු රටට බරක් නොව රටට , සමාජයට දායක විය හැකි පිරිසක් බවට පත් කිරීම කළුතර දිස්ත්‍රික් මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ අරමුණ වූ බව පසුගියදා (27) මග්ගොනදී පැවැති කළුතර දිස්ත්‍රික් මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ 50 වන සංවත්සර උත්සවය අමතමින්  හිටපු ඇමතිවරයෙකුවූ ඉම්තියාස් බාකීර් මාකර් මහතා ප්‍රකාශ කළේය .

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලීල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය .
සැමට සම අවස්ථා ඇති සමාජයක් තිබිය යුතු බව තරුණයින් විශ්වාස කළා.මෙම සංවිධානය 1968 වසරේ ආරම්භ වූයේ මුස්ලිම් තරුණයිනට හරි පාර පෙන්වන්නයි.තරුණ පරපුර  පැවැති පාලනය ගැන කලකිරී 1971 වනවිට කැරැල්ලක් තත්වයට පත් වන බව ඉවෙන් මෙන් දැන සිටියා.

මුල් කාලයේ මෙම සංවිධානයට බඳවා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් විතරයි . පසුව ඊට එඑරෙහිව විරෝධයක් ආවා.කොළඹට සීමාවී තිබූ මෙම සංවිධානය රටේ සෙසු දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත ව්‍යාප්ත වුනේ ඉන් පසුවයි . තරුණ ප්‍රශ්න සාකච්ඡා කරන්න, ඒවාට විසඳුම් සොයන්න මෙය පිටුවහලක් වුනා. මූලික අරමුණක් වූයේ අධ්‍යාපනය නගා සිටුවීමයි.

අද පලස්තීන ජනතාවට නිදහස ලැබෙන තුරු ලෝකයම බලා සිටිනවා . එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රතිපත්ති , ජාත්‍යන්තර නීති හා අධිකරණ හැදුවේ යටත් විජිත නිදහස් කර ගැනීමටයි . දඬුවම් ලැබ සිර ගත විය යුතු අය ඇවිත් අද ඒවායේ දේශන පවත්වනවා .

මෙහිදී සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාවේ මහ ලේකම් අශ් ශෙයික් අර්කම් නුරාමිත් මව්ලවි තුමා අදහස් දක්වමින් මෙසේ කීය.

තරුණ හැඟීම් දැනෙන නායකත්වයක් තරුණ පරපුර බලාපොරොත්තු වෙනවා.
තරුණ හැඟීම් නිසි ලෙස හඳුනා නොගතහොත් ඒවාට නිසි විසඳුම් නොලැබුනහොත් ඔවුන් ඊට එරෙහිව වැරදි දේ කරන්නට පෙළඹෙනවා .

ලොව අර්බුද , අභියෝග ඇති වන්නේ ඒ අනුවයි .එවිට ඔවුනට නිසි මග පෙන්වන්නේ කවුද ? ඔවුන් නායකත්වයට ඇහුම්කන් දෙන්නේ නැහැ . සමාජ මාධ්‍යවලට අනුව ඔවුන් පාලනය වෙනවා.ඔවුන් ආමන්ත්‍රණය කරන භාෂාවට ඔවුන්ගේ හැඟීම්වලට ඉඩක් ලබා දිය යුතුයි .එදා නායකත්වයක් නැති තරුණයින් හඳුනගෙන  , ඔවුන් සමාජයෙන් වෙන් කර භාවිතා කිරීම නිසා මුළු මුස්ලිම් සමාජයම ත්‍රස්තවාදීන් , අන්තවාදීන් ලෙස හංවඩු ගැහුණා. තරුණ හැඟීම් කවුරු හරි වැරදි විධියට පාවිච්චි කළා.

මෙහිදී තවත් කීප දෙනෙකුම කතා කළ අතර කළුතර දිස්ත්‍රික් සංවිධානයේ ආරම්භක සාමාජිකයිනට උපහාර තිළිණ පිරිනැමීම හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් අතින් සිදු විය.

නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමද මෙහිදී සිදු කරන ලදී.

(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here