කල්මුණේ මූලික රෝහලේ මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සහයිකාවන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ මතභේදයක්. සමාජ සාධාරණ පක්ෂය සාකච්ඡාවක.

0
14

කල්මුණේ උතුරු මූලික රෝහලට අළුතින් පත්වීම් ලැබූ සෞඛ්‍ය සේවිකාවන් 9 දෙනෙකුට, තම ආගමික හා සංස්කෘතික ගෞරවයන් සුරැකෙන පරිදි නිල ඇඳුම් ඇඳීමට රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අවසර අහුරා ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ නිල ඇඳුම් සම්බන්ධ රාජ්‍ය සංකේත හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවල ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන් සුරකිමින් නිල ඇඳුම් ඇඳීමට පැහැදිලිවම අවසර දී ඇත. එසේම අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ද එහි දක්වා ඇත. මෙවැනි තත්ත්වයක් තුළ රෝහල් අධ්‍යක්ෂවරයා අදාළ චක්‍රලේඛවලට පටහැනිව යමින් බලතල අභූත ලෙස භාවිත කර ඇති බව විපතට පත් සේවිකාවෝ පෙන්වා දෙති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සමාජ සාධාරණ පක්ෂයේ (Social Justice Party) නායකයින් ඊයේ (09) රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවට සමාජ සාධාරණ පක්ෂයේ නායක අර්කම් මුනීර්, මහලේකම් නීතිඥ රෂාද් අහමඩ්, භාණ්ඩාගාරික නීතිඥ ඉල්හාම් හසනලි, ජාතික සංවිධායක ඉර්ෆාන් පන්නා, ඩිජිටල් මාධ්‍ය ලේකම් සබ්රීන් අහමඩ් සහ මෙම ගැටලුව විසඳීමට පෙරමුණ ගෙන කටයුතු කරන නට්පිට්ටිමුනෙයි අල් අක්සා විද්‍යාලයේ විදුහල්පති බදියුදීන් යන මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී විපතට පත් රාජ්‍ය සේවකයින් හමුවී තොරතුරු විමසා සිටි පක්ෂ නායකයින්, නිල ඇඳුම සඳහා අවසර නොදීමට හේතුව ලිඛිතව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ලබාගන්නා ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කල්මුණේ ප්‍රාදේශීය කාර්යාලයට වහාම පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත. මෙම ගැටලුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සෘජු අවධානයට යොමු කිරීමට ද සමාජ සාධාරණ පක්ෂය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here