කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත නිල වශයෙන් භාර දී තිබේ.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් සකස් කර ඇති මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇත. පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ බවට පැවසෙන පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු තවදුරටත් එම ධුරයට නුසුදුසු බව පවසමින් විපක්ෂය මෙම පියවර ගෙන තිබේ.
මෙම යෝජනාව භාර දීමේ අවස්ථාව සඳහා විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රවී කරුණානායක, දිලිප් වෙදආරච්චි, චමින්ද විජේසිරි සහ වරුණ ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

