බටහිර මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මෙරට සාගර කලාපයට සිදුවූ හානිය පිළිබඳව රජය තවදුරටත් සවිස්තරාත්මකව සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සම සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති කතෝලික සභාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, රජයට පවරාගන්නා ලද කතෝලික පාසල්වල පාලන ගැටලු, කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා වන ගුරු පත්වීම් ක්‍රමවේද සහ පූජකවරුන් හා කන්‍යා සොහොයුරියන් ගුරු වෘත්තියට බඳවා ගැනීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එමෙන්ම, මෙම පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ මෙවැනි සාකච්ඡා පැවැත්වීමට පියවර ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට කතෝලික සභාවේ ප්‍රසාදය පළ කළ උන්වහන්සේ, භේදයකින් තොරව සෑම දරුවෙකුටම සිය ආගම ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළහ.

