එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, විසඳී නොමැති සන්නද්ධ ගැටුම් සහ දේශගුණික විපත් හමුවේ පළුදු වූ ගෝලීය විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා පාරදෘශ්‍යභාවයෙන් යුත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් සහ බහුවිධභාවයක් (Multilateralism) අත්‍යවශ්‍ය බවයි.
පසුගිය කාලයේ මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් සහ ‘දිට්වා’ සුළි සුළං ව්‍යසනයෙන් අනතුරුව රට නැවතත් සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් කරා ළඟා වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස වර්ගීකරණය කර ඇති බවත්, දේශගුණික සාධාරණත්වය උදෙසා 2030 වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සහ 2050 වන විට කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
තවද, සීමිත සම්පත් මැද වුවද මුහුදු සීමාවේදී අනතුරට පත් වූවන් බේරාගැනීමෙන් ශ්‍රී ලංකාව මානුෂීයභාවයට මුල්තැන දෙන බව පෙන්වා දුන් ඔහු, 1967ට පෙර පැවැති සීමා මායිම් පදනම් කරගත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ ජාත්‍යන්තර ඉල්ලීමට පූර්ණ සහයෝගය පළ කරමින්, රට තුළ යහපාලනය හා දූෂණ මර්දනය තහවුරු කිරීමට කැපවන අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අවධාරණය කළේය.

