ළමා යහපැවැත්ම වෙනුවෙන් ගෝලීය ආයෝජන ශක්තිමත් කිරීම අරමුණු කරගත් සමර්කන්ද් ලෝක සමුළුව උස්බෙකිස්ථානයේ සමර්කන්ද් නගරයේදී පසුගිය 21 සහ 22 යන දෙදින තුළ සාර්ථකව පවත්වන ලදී.
“Investing in Children’s Wellbeing: A Path to Sustainable and Equitable Development for Future Generations” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව සඳහා රටවල් 100කට අධික සංඛ්යාවක නියෝජිතයින් 600කට වැඩි පිරිසක් එක්ව සිටියහ. රාජ්ය ප්රතිපත්ති සම්පාදකයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්යන්තර ආයතනවල නියෝජිතයින් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ශ්රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ ළමා කටයුතු නියෝජ්ය අමාත්ය නාමල් සුදර්ශන මහතා මීට එක්විය.
දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් වෙන් කරන සම්පත් කිසිවිටෙකත් වියදමක් ලෙස නොසැලකී, එය අනාගත පරපුරේ මානව සහ තිරසර සංවර්ධනය උදෙසා කරන ලද අගනා ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි. එපමණක් නොව, ආබාධිත දරුවන්, පවුල් රැකවරණය අහිමි වූ දරුවන් සහ විවිධ සමාජීය අවදානම්වලට ලක්වන දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා විය.
සමුළුවට සමගාමීව ළමා පිළිකා පිළිබඳ දෙවන ජාත්යන්තර කොංග්රසයද පැවැත්වුණු අතර, එහිදී ළමා පිළිකා ප්රතිකාර සේවා පුළුල් කිරීම, අත්යවශ්ය ඖෂධ සඳහා පහසු ප්රවේශයක් ලබා දීම සහ රෝගී දරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.
දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආයෝජනය කිරීමේ සමර්කන්ද් ප්රකාශනය සම්මත කරගැනීම මෙම සමුළුවේ ප්රධාන ප්රතිඵලයක් වූ අතර, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පවතින ජාත්යන්තර කැපවීම් ප්රායෝගික ජාතික මට්ටමේ ක්රියාමාර්ග බවට පෙරළීමේ වැදගත්කම එයින් මනාව තහවුරු විය. ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්ය අමාත්යවරයා මෙම සමුළුවට සහභාගී වීම, ජාත්යන්තර අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වන ගෝලීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් විය.

