ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩල ලේකම් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර විශේෂ දුරකථන සාකච්ඡාවක්

0
11

ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහොසන් රෙසායි (Mohsen Rezaei) සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් යන මහත්වරුන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලාපීය වර්ධනයන් සහ දෙරටටම වැදගත් වන පොදු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව ඉන්දියාවේ ඉරාන තනාපති කාර්යාලය නිවේදනය කරයි. X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් එම තනාපති කාර්යාලය සඳහන් කළේ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේදී කලාපීය කටයුතුවල සිට ඉන්දියාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා දක්වා වූ කරුණු රාශියක් කෙරෙහි විශේෂ අවධානය යොමු වූ බවය.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ කලාපීය නොසන්සුන්තාවන් සහ වෙළෙඳ නාවික නෞකාවලට එල්ල වන ප්‍රහාරයන් වැනි උණුසුම් වාතාවරණයක් මධ්‍යයේය. මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි 7න් කිහිපයකට අමෙරිකා එක්සත් ජනපදය එකඟ වී තිබුණද, වොෂින්ටනයෙන් ලැබුණු ප්‍රතිචාරය තවමත් ප්‍රමාණවත් නොවන බව ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා පෙන්වා දී තිබේ.

මේ අතර, විදේශීය හමුදා ආක්‍රමණ සහ ආර්ථික සම්බාධක පවතින තාක්කල් කලාපයට නැවත සාමය සහ ආරක්ෂාව උදා විය නොහැකි බවට අනතුරු අඟවා ඇති ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා, හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තවදුරටත් ටෙහෙරාන් පාලනය සතුව පවතින බවද අවධාරණය කර ඇත. වත්මන් තත්ත්වය පිළිබඳව අමෙරිකාව ඉදිරිපත් කරන කරුණු තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔහු පෙන්වා දුන්නේ, වොෂින්ටනයේ නිල ප්‍රකාශවලට වඩා වෙළඳපොළේ පවතින සැබෑ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here