අල්ටිමේට් කිරුළ දිනූ රුමේෂ් තරංග රන් පදක්කම සමග දිවයිනට

0
13

ඔලිම්පික් සහ ලෝක ශූරයන් අබිබවා යමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ආධිපත්‍ය තහවුරු කළ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණියේය.

ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයින් 8 දෙනෙකු තරග වැදුණු අල්ටිමේට් චැම්පියන්ෂිප් (Ultimate Championship) තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් සමත් විය. මෙම තරගාවලිය සඳහා වත්මන් ඔලිම්පික් ශූර පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, ලෝක ශූර කෙශෝර්න් වෝල්කෝට්, දෙවරක් ලෝක ශූරතාව දිනූ ඇන්ඩර්සන් පීටර්ස් සහ ජුලියන් වෙබර් වැනි ප්‍රබලයන් එක්ව සිටියහ.

තරගයේ මුල් වටයේදී මීටර 75.89ක දක්ෂතාවක් දක්වමින් පස්වන ස්ථානයේ පසුවූ රුමේෂ්, දෙවන වටයේදී මීටර 85.69කින් තෙවන ස්ථානයටත්, තෙවන වටයේදී මීටර 87.11කින් පෙරමුණටත් පැමිණීමට සමත් විය. අනතුරුව සිව්වන සහ අවසන් උත්සාහයේදී මීටර 91.09ක දැවැන්ත විසිකිරීමක් සිදු කරමින් ඔහු සිය ජයග්‍රහණය තහවුරු කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙස තරගයට එක්වූ රුමේෂ් මෙම ජයග්‍රහණයත් සමග අල්ටිමේට් ශූරතාව ද හිමිකර ගත් අතර, ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 150,000ක (රුපියල් කෝටි 5කට ආසන්න) තත්‍යාග මුදලක් ද හිමිකර ගත්තේය.

කටුනායක ගුවන්තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් තරංග සඳහන් කළේ ඉදිරියේදී ආසියානු ක්‍රීඩා උලෙළ, ලෝක ශූරතාවලිය සහ ඔලිම්පික් යන තරගාවලිවලින් ශ්‍රී ලංකාවට පදක්කම් තුනක් දිනාදීම තමන්ගේ මීළඟ ඉලක්කය බවයි. එසේම තමන් පැමිණි ගමන ඇතුළත් කර ලියූ ග්‍රන්ථය මේ මස 17 වැනිදා එළිදැක්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here