අතුරුගිරියේදී මෙට්‍රෝ බස් රථයේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනම් කෙරේ

0
66

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථය සඳහා තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඊයේ (08) දිනයේදී අතුරුගිරිය – පිටකොටුව මාර්ගයේ ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය, බස් නැවතුම්පොළේ නැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි – පිටකොටුව මාර්ගයේ ගමන් ගත් මෙට්‍රෝ බස් රථයේ ගැටී අනතුරට ලක්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය විසින් මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ අදාළ බස් රථය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී එම බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවට තහවුරු වීම හේතුවෙන් මෝටර් රථ පරීක්ෂක විසින් මෙම තාවකාලික ධාවන තහනම පැනවීමට පියවර ගෙන තිබේ.

අදාළ බස් රථ රියදුරන් දෙදෙනාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට යොමු කළද, පරීක්ෂණ වාර්තා මඟින් කිසිදු රියදුරෙකු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සිදුවන ආකාරය නිරීක්ෂණය වන සීසීටීවී (CCTV) දර්ශනද සමඟින් මෙම සිද්ධියට අදාළ කරුණු අද (09) දිනයේ කඩුවෙල අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිතය.