අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිතයින් අතර විශේෂ හමුවක්

0
10

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ (The Asia Foundation) නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ආසියා පදනම අතර දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම රටේ සංවර්ධන කටයුතු සඳහා ඔවුන් ලබාදෙන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය. මෑත කාලීනව රජය ගෙන ගිය වැඩපිළිවෙළට සුබ පැතුම් එක් කළ ආසියා පදනමේ නියෝජිතයින්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශේෂයෙන් අගය කළහ.

එමෙන්ම ඩිජිටල්කරණය, කාන්තා ආර්ථික සවිබලගැන්වීම, දරිද්‍රතාවය පිටුදැකීම, සමාජ ආරක්ෂණය සහ සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඉදිරියේදී තම දායකත්වය ලබා දීමට සූදානම් බව ඔවුහු ප්‍රකාශ කළහ.

රජයේ ඉදිරි ඉලක්ක පැහැදිලි කළ අග්‍රාමාත්‍යතුමිය, අඛණ්ඩ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා ලෝක බැංකු වැඩසටහන් සමඟ සමීපව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. මීට අමතරව රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, දූෂණය මැඩලීම, ආදායම් රැස් කිරීම විධිමත් කිරීම මෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අනාගතයට ගැළපෙන කුසලතාපූර්ණ ශ්‍රම බලකායක් බිහිකිරීම රජයේ ප්‍රමුඛතා බව ඇය පෙන්වා දුන්නාය. රාජ්‍ය සේවා දියුණු කිරීම සඳහා තාක්ෂණය යොදාගනිමින් ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ආසියා පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති තානාපති කැත්ලීන් ස්ටීවන්ස්, තානාපති රොබට් ඕ. බ්ලේක් ඇතුළු පදනමේ නියෝජිතයින් පිරිසක්ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here