අක්වාන් ප්‍රබල සුළි කුණාටුවක් බවට – කාලගුණයෙන් රතු නිවේදනයක්

0
17

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “අක්වාන්” සුළි කුණාටුව හේතුවෙන් බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙන්ම, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (17) සවස 05.30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 630ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 12.3° සහ නැගෙනහිර දේශාංශ 85.6° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති මෙම පද්ධතිය, සෙමින් උතුරු-වයඹ දෙසට ගමන් කරමින් අද (18) අලුයම වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්කේදී “ප්‍රබල සුළි කුණාටුවක්” දක්වා වර්ධනය වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතී.

මෙම සුළි කුණාටුව තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් හෙට (19) සවස වන විට “ඉතා ප්‍රබල සුළි කුණාටුවක්” දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය නොවැම්බර් 20 වන දින පෙරවරු 11.30 පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාමි වෙරළ අතරින් ඉන්දියාවට ඇතුළු වීමට නියමිතය. ඒ අනුව, උතුරු අක්ෂාංශ 06ත් 19ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරය සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. එම මුහුදු ප්‍රදේශවල දැනටමත් යාත්‍රා කරමින් සිටින ධීවර සහ නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතු අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතුය.

මේ අතර, දිවයිනේ කාලගුණ තත්ත්වය සැලකීමේදී ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි නමුත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here