හෝමාගම පොලිස් ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

0
19

හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට හෙට (29) දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව, මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන ඇත.

මේ අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ද මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වයි. ඒ අනුව, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හෝමාගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගෙන් මෙන්ම, මීට පෙර වැඩ තහනමට ලක් වූ අපරාධ අංශයේ ස්ථානාධිපති සහ දූෂණ මර්ධන වැටලීම් අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තවද, මියගිය පුද්ගලයාගේ නැගණියගෙන් ද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, ඔහු සමඟ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනෙක් සැකකරුගෙන්ද ප්‍රකාශ ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here