සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය කොළඹදී ඇරඹේ

0
14

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය (UHPR) ඊයේ (22) කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ඊයේ සහ අද (23) යන දෙදින පුරා ක්‍රියාත්මක වන මෙම සමාරම්භක අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වී සිටියේය.

වසංගත තත්ත්වයන්, ස්වභාවික ආපදා මෙන්ම අනෙකුත් මහජන සෞඛ්‍ය හදිසි අර්බුදවලදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් අඛණ්ඩව සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම රජයක මූලික වගකීමක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. අර්බුදයක් මතුවූ පසු ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, එවැනි තත්ත්වයන්ට පෙර සිටම මුහුණදීමේ හැකියාව වර්ධනය කර ගැනීම වර්තමානයේ පවතින කාලීන අවශ්‍යතාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. 2025 වර්ෂයේ පැවැති 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී කරන ලද ඉල්ලීමකට අනුව මෙම සැසිවාරය මෙරටදී සංවිධානය කර ඇත.

කොවිඩ්-19 වසංගතයෙන් ලබාගත් අත්දැකීම් පදනම් කරගනිමින් අනාගතයේ ඇතිවිය හැකි මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීමට මෙරට ඇති ජාතික හැකියාවන් සමාලෝචනය කිරීම සහ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම සමාජයද එකතු කරගනිමින් සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සැසිවාරයේ මූලික අරමුණ වේ.

මෙම අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ් සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්බාජිරාඕ පාණ්ඩව් යන මහත්වරුන් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ, ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ විද්වතුන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here