හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණීමට සැලසුම් කර ඇති පසුබිමක, ඇයට හෝ ඇය සමඟ පැමිණෙන කිසිවෙකුට හෝ යම් හානියක් සිදුවුවහොත් වත්මන් අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් සහ ඔහුගේ රජය ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව හිටපු පෙන්ටගන් නිලධාරී මයිකල් රූබින් අනතුරු අඟවා තිබේ.
නිව්යෝර්ක් නුවර පැවති ‘බංග්ලාදේශයේ අනාගතය’ නමැති සම්මන්ත්‍රණය අමතමින් ඔහු අවධාරණය කළේ ෂෙයික් හසීනාගේ හිසකෙස් ගසකට හෝ හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම බංග්ලාදේශ රජය භාරගත යුතු බවයි. 2002 සිට 2004 දක්වා පෙන්ටගනයේ සේවය කළ රූබින්, මෙම පණිවිඩය බංග්ලාදේශ රජය වෙත දැනුම් දෙන ලෙස අමෙරිකානු තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලා සිටි අතර, වත්මන් පාලනය සමඟ සම්මුතියකට නොපැමිණ ෂෙයික් හසීනාගේ පාලනය යළි ස්ථාපිත කිරීමට අඛණ්ඩව සහාය දෙන ලෙස ඉන්දියාවෙන් ද ඉල්ලීමක් කර ඇත.
2024 වසරේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය අරගලයෙන් පසු රටින් පිටව ගොස් ඉන්දියාවේ රැඳී සිටින ෂෙයික් හසීනා, ලබන දෙසැම්බර් 16 වැනිදා යළි බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර දින කිහිපයකට පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබීම විශේෂත්වයකි. එමෙන්ම නිව්යෝර්ක් නුවර පැවති අදාළ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇය මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ ඊට සම්බන්ධ වී තිබුණි.

