2026 වසරේ ශ්රී ලංකාවේ සිදුකෙරෙන සර්ව-ආගමික සහජීවන සහ මිත්රත්ව සංචාරයක (Interfaith Harmony and Friendship Tour) නිරත මියන්මාර් ආගමික නායකයින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් අද (30) මහනුවර ප්රදේශයේ සංචාරයක නිරත වූහ.
අගරදගුරු හිමිවරුන් තිදෙනෙකු සහ මහාචාර්යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස, අස්ගිරි සහ මල්වතු මහා විහාරයන් වෙත ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහනුවර කටුකැලේ ජුම්මා පල්ලියේ පිහිටි සහජීවන මධ්යස්ථානය (Katukelle Jumma Mosque Harmony Center) වෙත පැමිණියහ.
මෙම විශේෂ සංචාරය සංවිධානය කර තිබුණේ ධර්ම ශක්ති පදනමේ සම සභාපති මෙන්ම අමරපුර මහා නිකායේ මහා නායක පූජ්ය මාදම්පාගම අස්සජි නායක හිමිපාණන් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුවය.
කටුකැලේ ජුම්මා පල්ලියේ සහජීවන මධ්යස්ථානය වෙත පැමිණි නියෝජිත පිරිස, ශ්රී ලංකාවේ විවිධ ආගමික ප්රජාවන් අතර අන්තර්-ආගමික සබඳතා ශක්තිමත් කිරීම, පරස්පර ගෞරවය තහවුරු කිරීම සහ සහජීවනය ප්රවර්ධනය කිරීම වෙනුවෙන් එකී මධ්යස්ථානය මගින් ක්රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් හා පියවරයන් පිළිබඳව නිරීක්ෂණය කරමින් කරුණු අධ්යයනය කළහ.


