බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් ශාසනික සිදුවීම් රැසක් සිදු වූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ. වස් එළැඹ සිටි භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන කඨින චීවර පූජා මාසයේ අවසන් දිනය මෙන්ම, පසුවස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණ දිනය වන්නේ ද අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි.
ලෝකවාසී සත්ත්වයාගේ හිතසුව පිණිස ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේලා 60 නම ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර හැරීම සිදු වූයේ අද වැනි පොහොය දිනකය. එමෙන්ම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කරවීම, මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවේ නියත විවරණ ලැබීම සහ අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම යන ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුව ඇත.
මෙම උතුම් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

