කල්මුණේ සහ සයින්දමරුදු පළාත් පාලන ආයතනවල මැතිවරණය සීමා නිර්ණ කටයුතුවලින් පසුව

0
9

කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමා නිර්ණ කටයුතු අවසන් වූ වහාම එම ආයතනවල ඡන්ද විමසීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පළාත් පාලන ආයතන දෙකෙහි සීමා නිර්ණ කටයුතු තවමත් අවසන් වී නොමැති බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය.

මහ නගර සභා සහ නගර සභා ආඥා පනතට අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පසුගිය ඔක්තෝබර් 13 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ මඟින් කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ කටයුතු ආරම්භ කළ යුතු දිනය ලෙස ලබන වසරේ මාර්තු 15 වැනිදා නියම කර ඇත.

කෙසේ වෙතත්, මෙම ආයතනවල මැතිවරණය පැවැත්වීමට පෙර සීමා නිර්ණ කටයුතු සිදුකර කොට්ඨාස වෙන් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. ඒ සඳහා ජාතික සහ දිස්ත්‍රික් මට්ටමින් සීමා නිර්ණ කමිටු දෙකක් පත් කර ඇති අතර, එම කමිටු වාර්තා මත පදනම්ව අදාළ කොට්ඨාස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව, කොට්ඨාස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය පළ කිරීමෙන් අනතුරුව අදාළ පළාත් පාලන ආයතන දෙකෙහි ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය නිවේදනය කරන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here