සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කර තිබේ.
2014 වර්ෂයේදී සංචාරක ප්රවර්ධන කාර්යාංශයට යොමු කළ රුපියල් මිලියන 7.8ක මුදලක් එම ආයතනයේ ප්රවර්ධන කටයුතු සඳහා යොදවනු වෙනුවට, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් මුద్రණය කර බෙදාහැරීම මඟින් රජයට මූල්ය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
එමෙන්ම, ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම සඳහා අවශ්ය වරෙන්තුව ඉංග්රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම ලබා දෙන ලෙසද මහේස්ත්රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කර තිබේ.

