දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 7ක් නාවික හමුදා භාරයට

0
7

දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ධජ රහිත යාත්‍රාවක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දේශීය හා විදේශීය බුද්ධි අංශ මෙන්ම සමුද්‍රීය හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට දියත් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම පිණිස එම යාත්‍රාව සහ සැකකරුවන් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.

ඉන්දීය සාගරයේ නෞකා ගමනාගමනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කලාපීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පවත්වන ශක්තිමත් සම්බන්ධීකරණය මෙන්ම, ලොව විශාලතම බහුජාතික නාවික සන්ධානය වන ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ (CMF) සාමාජිකත්වය මෙම සාර්ථකත්වයට ඉවහල් වී ඇත. එමෙන්ම, කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන දත්ත ඒකාබද්ධ කරමින් තත්‍යකාලීන බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව සිදුකරන ඒකාබද්ධ ගුවන් නිරීක්ෂණ මගින් සාගරික ආවේක්ෂණ වපසරිය පුළුල් කිරීමත් මෙම මෙහෙයුම් සඳහා සුවිශේෂී පිටිවහලක් වී තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පසුගිය 2025 ඔක්තෝබර් මාසයේදී රජය ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැටලීමත් සමඟ, එම ජාතික මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා නාවික හමුදාව භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍යවල දළ වීථි වටිනාකම රුපියල් බිලියන 116 (රුපියල් කෝටි 11,600) ඉක්මවයි. ඊට අමතරව, 2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් විදේශීය යාත්‍රා 04ක් ඇතුළුව මුළු යාත්‍රා 66ක් සහ විදේශිකයන් 18 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 379 දෙනෙකු නීතිය හමුවට පමුණුවීමට නාවික හමුදාව සමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here