ජනපතිගේ ලෝක ළමා දින සුබ පැතුම් පණිවිඩය

0
21

දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත වන බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියි.

එම නිල සුබපැතුම් පණිවුඩයේ මෙසේ ද දක්වා ඇත.

”දරුවන් යනු ජාතියේ වටිනාම සම්පතයි. එබැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීමයි. දරුවන්ගේ සිහින, අපේක්ෂා සහ නිර්මාණශීලීත්වය තුළ රටේ හෙට දවස තීරණය කෙරේ. එබැවින් දරුවන් වෙනුවෙන් අප ගොඩනගන රට යනු ඔවුන්ට හෙට දිනයේ භාරදීමට පමණක් සූදානම් කරන රටක් නොව, අද දවසේම ඔවුන්ගේ සිහිනවලට ඉඩ සලසන, ඔවුන්ගේ හඬට සවන් දෙන සහ ඔවුන්ගේ හැකියාවන්ට පූර්ණ අවකාශය සලසා දෙනු ලබන පරිසරයක් සහිත රටකි.

අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා මෙන්ම, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන, හිංසන සහ වෙනස්කම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ශක්තිමත් කිරීම අපගේ වගකීමක් ලෙස අපි සලකමු. කිසිදු දරුවෙකුගේ ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය හෝ භූගෝලීය පසුබිම අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතුය. සෑම දරුවෙකුටම තම හැකියාවන් පුබුදුවා ගනිමින්, තම සිහින හඹා යමින්, තමන් කැමති අනාගතයක් නිර්මාණය කර ගැනීමට සමාන අවස්ථා හිමි විය යුතුය. ඒ වෙනුවෙන් මෙරට අධ්‍යාපනය නව පරිවර්තනයකට ලක් කරමින් දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන මෙන්ම නව ලෝකයට ගැළපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අපි මේ වන විටත් ආරම්භ කර ඇත්තෙමු.

අප ගොඩනගන නව ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු අත් නොහැර, සෑම දරුවෙකුටම සුරක්ෂිත පරිසරයක තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගැනීමට අවස්ථා සලසා දීම අපගේ අරමුණයි. අධ්‍යාපන ශිෂ්‍යත්ව පුළුල් කිරීමේ සිට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන සහ රැකවරණය අවශ්‍ය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම දක්වා ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්වල මූලික අරමුණ වන්නේ රටේ සෑම දරුවෙකුටම අභිමානවත් සහ සුරක්ෂිත හෙට දවසක් උරුම කර දීම බව මෙහිලා සිහිපත් කළ යුතුය.

තමන් අත්විඳි ජීවිතයට වඩා හොඳ ජීවිතයක් තම දරුවන්ට උරුම කර දීම සෑම දෙමාපියෙකුගේම අපේක්ෂාවයි. අස්ථාවර ආර්ථිකයක සෙවණැලිවලින් තොර, සුරක්ෂිත සහ සුන්දර ළමා වියක් දරුවන්ට උරුම කර දීම සඳහා අප මේ වන විට රටේ ආර්ථිකය නිවැරදි හා ස්ථාවර දිශානතියකට මෙහෙයවමින් සිටිමු. එසේම විෂ මත්ද්‍රව්‍ය රකුසාගෙන් දරු පරපුර මුදා ගැනීමට සියලු දෙනා එක් කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා ඇත්තෙමු.

දරුවන් වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමේ අත්හළ නොහැකි වගකීම ඉටු කරමින් සිටින මෙවන් මොහොතක, “මනසින් සවිමත් දරුවන් පොහොසත්” යන තේමාව පෙරදැරි කර ගනිමින්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත් කරමින්, දරු පරපුරේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය සහ අනාගත අපේක්ෂා ශක්තිමත් කිරීම අරමුණු කරගත් අර්ථවත් වැඩසටහන් රැසක් සමඟ මෙවර ලෝක ළමා දින සැමරුම සංවිධානය කිරීම බෙහෙවින් අගය කරමි.

රටේ සියලු දූ පුතුන්ට සතුට, සෙනෙහස සහ බලාපොරොත්තුවෙන් පිරි සුබ ලෝක ළමා දිනයක් වේවා’යි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here