ෆේස්බුක් වෙතින් AI බලයෙන් ක්‍රියාත්මක වන නව ‘Creator Studio’ ඇප් එකක්

0
18

ෆේස්බුක් සමාගම විසින් නිර්මාණකරුවන් (Creators) උදෙසාම වෙන්වූ ‘Creator Studio’ නමින් නව ස්වාධීන යෙදුමක් (Standalone App) හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. AI තාක්ෂණය මඟින් ක්‍රියාත්මක වන මෙම යෙදුම හරහා නිර්මාණකරුවන්ට තම ප්‍රේක්ෂක පිරිස වර්ධනය කර ගැනීමට පුද්ගලීකරණය කළ උපදෙස් මෙන්ම ප්‍රජාවන් සමඟ සක්‍රියව සම්බන්ධ වීමට නව මෙවලම් රැසක් හිමි වේ. සති කිහිපයක පරීක්ෂණ මට්ටමකින් පසුව මෙම යෙදුම එක්සත් ජනපදය සහ කැනඩාව තුළ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන සියලුම නිර්මාණකරුවන් සඳහා පළමුව නිකුත් කෙරේ.

මෙම යෙදුම තුළම අන්තර්ගත කර ඇති AI ක්‍රියේටර් සහායකයා (AI Creator Assistant) මඟින් නිර්මාණකරුවෙකුගේ අන්තර්ගත රටාවන්, කාර්ය සාධනය සහ ප්‍රේක්ෂක සබඳතා විශ්ලේෂණය කර විශේෂිත නිර්දේශ ලබා දෙයි. මීට පෙර සංකීර්ණ දත්ත ප්‍රස්ථාර (Dashboards) පරීක්ෂා කිරීමට සිදු වුවද, දැන් “පෝස්ට් එකක් දැමීමට සුදුසුම වේලාව කුමක්ද?” හෝ “ප්‍රේක්ෂකයින් අදහස් දක්වා ඇත්තේ කුමක් ගැනද?” වැනි ප්‍රශ්නවලට මෙම AI සහායකයාගෙන් සෘජු පිළිතුරු ලබාගත හැක. තවද, ප්‍රධාන අදහස් දැක්වීම් (Comments) ඉස්මතු කරමින්, නිර්මාණකරුවාගේ ස්වරයට (Voice) අනුව පිළිතුරු කෙටුම්පත් කරදෙන AI මෙවලමක්ද මීට ඇතුළත් වන අතර, ඒවා පළ කිරීමට පෙර සංස්කරණය කිරීමටද හැකියාව පවතී.

TikTok සහ YouTube වැනි තරඟකාරී වේදිකා හමුවේ නිර්මාණකරුවන් ෆේස්බුක් තුළම රඳවා ගැනීම සහ ChatGPT වැනි තෙවැනි පාර්ශවීය AI මෙවලම් මත යැපීම අවම කිරීම මෙටා (Meta) සමාගමේ ප්‍රධාන අරමුණයි. මීට අමතරව, මෙටා සමාගම මෑතකදී Reddit ශෛලියේ ‘Forum’ ඇප් එක, ‘Instants’ ඡායාරූප හුවමාරු යෙදුම, ‘Pocket’ ක්‍රීඩා යෙදුම සහ AI ළමා කතා නිර්මාණය කරන ‘StoryKit’ ඇප් එක ඇතුළු නවතම නිෂ්පාදන රැසක්ද වෙළඳපොළට හඳුන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here