තම ක්‍රීඩා උපකරණවලට සිදු වූ හානියෙන් පසු නව උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් තමා වෙත මූල්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත් වූ පිරිසට කෘතඥතාව පළ කරන ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, එම ත්‍යාගශීලී උපකාර රට පුරා සිටින අනෙකුත් අසරණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ද යොමු කරන ලෙස ඉල්ලීමක් කරයි.
හානියට පත් උපකරණ වෙනුවට අදාළ පාර්ශ්වයෙන් නව උපකරණ ලැබීමට නියමිත බවත්, තමා කිසිදු මුදලක් ලබා නොගත් බවත් සඳහන් කළ තරංග, හෙල්ල 100ක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් ආධාර ලැබී ඇති බැවින් එම සහයෝගය අත්‍යවශ්‍ය උපකරණ නොමැතිව පෞද්ගලික මුදල් වැය කරමින් ක්‍රීඩාවේ යෙදෙන අසරණ ක්‍රීඩකයන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කිරීම දැඩි අභියෝගයක් බව පෙන්වා දුන් ඔහු, 2026 ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ක්‍රීඩකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසීය.

