‘සිවුරට යුක්තිය’ පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට

0
13

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වෙන ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ අද (16) උදෑසන වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අඛණ්ඩව රැඳී සිටියි.

ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අවධාරණය කළේ ඥානසාර හිමියන්ගේ නිදහස සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය යුතු බවයි.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා වහාම නිශ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකි බවය. අනතුරුව එම ස්ථානයට පැමිණි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද රැස්ව සිටි හිමිවරුන් සමඟ සාකච්ඡාවක නිරත විය.

එහිදී ඒ මහතා සඳහන් කළේ මෙම ඉල්ලීම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත්, ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන සහ නීතිමය ක්‍රියාවලිය යටතේ ඒ සඳහා කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බවත්ය.

කෙසේ වෙතත්, මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේදැයි හිමිවරුන් නැගූ ප්‍රශ්නයට කාර්ය මණ්ඩල ප්‍රධානීවරයාට නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කිරීමට නොහැකි වීම හේතුවෙන්, තම ඉල්ලීමට නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් ජනාධිපති කාර්යාලය අසල අඛණ්ඩව රැඳී සිටීමට එම පිරිස තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here