ලෙබනනයේ වසර 42කට අධික කාලයක් ජීවත් වූ, ශ්රී ලාංකිකයෙකු යැයි විශ්වාස කෙරෙන කාන්තාවකගේ අනන්යතාව තහවුරු කර ගැනීමට සහ ඇයගේ පවුලේ සාමාජිකයින් සොයා ගැනීමට විදේශ කටයුතු අමාත්යාංශය මහජන සහාය ඉල්ලා සිටී.
අමාත්යාංශයේ කොන්සල් කටයුතු අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මියගිය මෙම කාන්තාව “රාණි ශ්රී ලංකි” (Rani Sri Lanki) යන නාමයෙන් හඳුන්වා ඇති අතර, ඇය දශක හතරකට වැඩි කාලයක් ලෙබනනයේ ජීවත් වී ඇති බවට විශ්වාස කෙරේ.
මෙම කාන්තාව කවුරුන්දැයි හඳුනා ගැනීමට හෝ ඇයගේ පවුලේ සාමාජිකයින් හෝ හිතවතුන් සොයා ගැනීමට උපකාරී වන තොරතුරු දන්නා අය වෙතොත්, ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස අමාත්යාංශය ඉල්ලා සිටී.
මේ පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයින්ට, බත්තරමුල්ල, ‘සුහුරුපාය’ ගොඩනැගිල්ලේ 16 වන මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සල් කටයුතු අංශය හා සම්බන්ධ විය හැකිය.
එසේම, +94 11 227 5525 යන දුරකථන අංකය ඔස්සේ හෝ consular@mfa.gov.lk යන විද්යුත් තැපැල් ලිපිනය හරහා ද තොරතුරු ලබා දිය හැකිය.
2026 සැප්තැම්බර් 23 වන දින නිකුත් කරන ලද මෙම නිවේදනයට අදාළ තොරතුරු, දින 14ක් ඇතුළත ලබා දෙන ලෙස අමාත්යාංශය ඉල්ලා සිටී.
ලැබෙන සියලුම තොරතුරු දැඩි රහස්යභාවයකින් යුතුව ආරක්ෂා කරනු ලබන බව ද අමාත්යාංශය සහතික කරයි.


