වත්මන් රජය 2024 සැප්තැම්බර් 21 වන දින බලයට පත්වීමෙන් පසුව, විදේශයන්හි සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙනවිත් ඇති බව පොලිස් මූලස්ථාන වාර්තා පවසයි. සිලුමිණ පුවත්පත උපුටා දක්වමින් වාර්තා වන පරිදි, මෙම සැකකරුවන්ට අදාළව සිදුකළ පරීක්ෂණ 113කට අනුව රුපියල් බිලියන 6කට අධික වටිනාකමකින් යුත් දේපළ හා වත්කම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
තහනම් කරන ලද සමස්ත වත්කම්වල විස්තර:
-
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්: සැකකරුවන් 102 දෙනෙකුට අයත් රුපියල් බිලියන 5.423ක වත්කම්.
-
සංවිධානාත්මක අපරාධකරුවන්: සැකකරුවන් 3 දෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක දේපළ.
-
වෙනත් අපරාධ: පිරමිඩ ජාවාරම්, ළමා අපචාර සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගැනීම ඇතුළු චෝදනා ලැබූ පුද්ගලයින් 8 දෙනෙකුගේ රුපියල් මිලියන 367ක වත්කම්.
මෙලෙස තහනම් කරන ලද දේපළ අතරට රත්රන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 404ක්, ඉඩම් අක්කර 136ක්, නිවාස 55ක් සහ වාහන 142ක් ඇතුළත් වේ.
මෙරටට ගෙන එන ලද සැකකරුවන් 66 දෙනාගෙන් 28 දෙනෙකුට එරෙහිව ඉන්ටර්පෝල් (Interpol) රතු නිවේදන නිකුත් කර තිබූ අතර, ඉතිරි සැකකරුවන් 38 දෙනා එලෙස රතු නිවේදන නොමැතිව ගෙනවුත් ඇත. 2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලිසිය විසින් සැකකරුවන් ගෙන්වා ගැනීම සඳහා නව ඉන්ටර්පෝල් රතු නිවේදන 110ක් ලබාගෙන තිබේ.
අගෝස්තු 18 වන විට ශ්‍රී ලංකා පොලිසිය සතුව සක්‍රීය රතු නිවේදන 236ක් පවතින අතර, ඉන් 96ක්ම සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව නිකුත් කර ඇති ඒවාය. තවද විදේශයන්හි රැඳී සිටින බවට තහවුරු කරගත් තවත් සැකකරුවන් 35 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 18 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, 11 දෙනෙකු ඉන්දියාවේද, සහ එක් අයෙකු බැගින් එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලිය යන රටවලද රැඳී සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

