ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, ඒ සඳහා අවශ්‍ය ලේඛන සහ අනුමැතීන් ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත යටතේ නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම පියවර ගෙන ඇත.
නොවැම්බර් 05 වැනිදා සිට බලාත්මක වන මෙම නව රෙගුලාසි හරහා ‘ජාතික වෙළෙඳ තනි කවුළු පද්ධතිය’ (National Single Window for Trade) වෙත පූර්ණ නීතිමය පිළිගැනීමක් ලබා දී තිබේ. ‘One TRADE’ ලෙස නම් කර ඇති මෙම නවීන ඩිජිටල් වේදිකාව මඟින් ආනයන හා අපනයන ක්‍රියාවලීන්ට අදාළ අයදුම්පත්, ප්‍රකාශන, සහ අනෙකුත් ලේඛන විද්‍යුත් ක්‍රමයට ඉදිරිපත් කිරීමේ පහසුකම ව්‍යාපාරික ප්‍රජාවට හිමි වේ.
මෙහිදී අදාළ රාජ්‍ය ආයතනවලට එම ලේඛන පරීක්ෂා කිරීම, අනුමත කිරීම මෙන්ම ප්‍රතික්ෂේප කිරීමේ කටයුතුද පවතින නීති රාමුවට යටත්ව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සැලසේ. ‘GovTech Sri Lanka (Pvt) Ltd’ සමාගම මෙම පද්ධතියේ බලයලත් මෙහෙයුම්කරු ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන හයක් මීට සම්බන්ධ පාර්ශ්ව ලෙස කටයුතු කරයි.
මූලික අදියර යටතේ තේ, පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදනවලට අදාළ HS වර්ගීකරණ අංක 124ක් මෙම නව ඩිජිටල් රෙගුලාසි සඳහා ඇතුළත් කර ඇත. තවද, ‘One TRADE’ පද්ධතිය හරහා ඉදිරිපත් කරනු ලබන විද්‍යුත් ලේඛන, ඒවා හුදෙක් විද්‍යුත් ස්වරූපයෙන් පමණක් පවතී යන පදනම මත කිසිදු අවස්ථාවක නීතිමය වලංගුභාවයෙන් බැහැර කළ නොහැකි බවද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

