ශ්‍රී ලංකාව ගෝලීය තැඹිලි අපනයන මධ්‍යස්ථානයක් කිරීම සඳහා “ලංකා තැඹිලි ගම්මාන” ජාතික වැඩසටහන ඇරඹෙයි.

0
2

ශ්‍රී ලංකාව තැඹිලි අපනයනය සඳහා වන ගෝලීය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස “ලංකා තැඹිලි ගම්මාන” (Ceylon King Coconut Village) ජාතික වැඩසටහන අද (03) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහයාය වත්ත පරිශ්‍රයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

  • ඉදිරි වසර තුන ඇතුළත දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2026 වසරේදී ගම්මාන 75ක් ද, 2027 දී ගම්මාන 80ක් සහ 2028 දී ගම්මාන 95ක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

  • වගා සංවර්ධනය: නව පැළ 212,500ක් සිටුවීම, දැනට පවතින ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීම සහ සෑම ගම්මානයකටම එක බැගින් කුඩා පරිමාණයේ සැකසුම් මධ්‍යස්ථාන (Processing facilities) සංවර්ධනය කිරීම සිදුකෙරේ.

  •  වගාකරුවන්, එකතු කරන්නන් සහ අපනයනකරුවන් සම්බන්ධ වන විධිමත් දත්ත හා වෙළඳ පද්ධතියක් මගින් ගොවීන් 21,250ක් පමණ සෘජුවම බලගැන්වීමට නියමිතය.

  • 2030 වන විට වගාවෙන් ලබන වාර්ෂික අස්වැන්න තැඹිලි ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීමටත්, තැඹිලි සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලබන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වඩා වැඩි කරගැනීමටත් ඉලක්ක කර ඇත.

2026 වසර සඳහා ගස් 500-1,000ත් අතර ප්‍රමාණයකින් සමන්විත ගම්මාන 75ක් පිහිටුවීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 405ක අයවැයක් වෙන්කර ඇත. දැනට පවතින ගස් 20,300ක් සඳහා පොහොර සහ අනෙකුත් යෙදවුම් වෙනුවෙන් ගසකට රුපියල් 700 බැගින් මූල්‍ය ආධාර සැපයේ. එමෙන්ම, රුපියල් 150ක සහන මිලකට තැඹිලි පැළ 37,500ක් ගොවීන් අතර බෙදාහැරීමට නියමිතය.

කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගොවීන් 600කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ගොවීන් වෙත සහනාධාර චෙක්පත්, තැඹිලි සහ තල පැළ, පලිබෝධ නාශක ද්‍රව්‍ය සහ කෘෂිකාර්මික උපකරණ පිරිනමන ලදී.

පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය ඇතුළු ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here