ශ්‍රී ලංකාව 2027 හජ් ගිවිසුමට අත්සන් තබයි

0
7

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබියාව අතර 2027 වසර සඳහා වන නිල හජ් ගිවිසුම අත්සන් කර තිබේ. සෞදි අරාඅබියාවේ ජෙඩා නුවර පැවති වාර්ෂික හජ් ප්‍රදර්ශනයට සහ සම්මන්ත්‍රණයට සමගාමීව, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ සෞදි අරාබියානු හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල්ෆතා බින් සුලයිමාන් මෂාට් (Dr. Abdulfattah Bin Sulaiman Mashat) මහතා විසින් සඳුදා (නොවැම්බර් 9 වැනි දින) මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට අත්සන් තබන ලදී.

ගිවිසුමට අත්සන් තැබීමට පෙර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී, ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කළේ තම රටේ පුරවැසියන්ට වඩාත් සුමට හා කාර්යක්ෂම වන්දනාගමන අත්දැකීමක් ලබා දීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි.

නියෝජ්‍ය අමාත්‍ය මුලෆර් මහතා සහ නියෝජිත පිරිස සෞදි හජ් සහ උම්රා අමාත්‍ය අතිගරු ආචාර්ය තව්පික් ෆවුසාන් අල්-රාබියා (Dr. Tawfiq Fawzan Alrabiah) මහතා ද හමු වී සුහද සාකච්ඡාවක නිරත වූ අතර, 2027 හජ් කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පවත්වන ලදී.

මෙම ශ්‍රී ලංකා නියෝජිත පිරිසට සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද්, ශ්‍රී ලංකා හජ් සහ උම්රා කමිටුවේ සභාපති රියාස් මිහුලාර්, ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් එම්.ටී. මොහොමඩ් ලෆාර්, හජ් සහ උම්රා කමිටුවේ සාමාජික රුෂ්ඩි කාලිඩ් යන මහත්වරුන් සහ ජෙඩා හි පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීහු ඇතුළත් වූහ.

මීට අමතරව, මෙවර සම්මන්ත්‍රණයට සමගාමීව මෙහෙයුම් ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ආරම්භ කරන ලද නවමු වැඩසටහනක් යටතේ, ශ්‍රී ලංකා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික හජ් මෙහෙයුම්කරුවන් නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ නියෝජිත පිරිසක් සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය විසින් පවත්වන ලද විශේෂ පුහුණු සැසි සඳහා ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here