බෙංගාල බොක්කේ වර්ධනය වන කැළඹිලි ස්වභාවය නිසා ශ්‍රී ලංකාවට අයහපත් කාලගුණ අනතුරු ඇඟවීමක්

0
3

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්, තත්ත්වය අනුව ඉදිරියේදී නිල නිවේදන නිකුත් කරන බවත්ය.

මෙම වායුගෝලීය කැළඹීම ඉදිරියේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව පෙන්වා දෙන ඒ මහතා, එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර පළාතට තද වැසි අපේක්ෂා කළ හැකි බවද සඳහන් කළේය.

ඒ අනුව, එළඹෙන නොවැම්බර් 15 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත. මේ වන විට රට තුළ පවතින දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය සහ ‘එල් නිනෝ’ (El Nino) සංසිද්ධියේ බලපෑම හේතුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සවස් කාලයේදී වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

එබැවින්, අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානමින් සිටින ලෙසත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පූර්වාරක්ෂක සහ අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here