ශ්‍රී ලංකා රේගුවෙන් ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත ප්‍රකාශන පද්ධතිය නිල වශයෙන් ඇරඹේ.

0
15
ශ්‍රී ලංකා රේගුව විසින් විද්‍යුත් (ඩිජිටල්) අත්සන සහිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන නිකුත් කිරීමේ සහ සකස් කිරීමේ පද්ධතිය (Digital Signature and Paperless Customs Declaration Processing System)  ඊයේ (01)  සිට නිල වශයෙන් ආරම්භ කර ඇත.
මෙම නව පද්ධතියත් සමඟ සියලුම ආනයනකරුවන් සහ රේගු ප්‍රකාශකයින් (Declarants) විසින් වලංගු ඩිජිටල් අත්සනක් භාවිත කරමින් රේගු නිවේදන සහ ඊට අදාළ ලේඛන විද්‍යුත් ක්‍රමවේදයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පාලන ප්‍රතිසංස්කරණ හා නූතනකරණ කාර්යාංශය (Revenue Administration Reform and Modernisation Bureau) සහ ශ්‍රී ලංකා රේගුව එක්ව සංවිධානය කළ මෙම සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
නව පද්ධතිය බලාත්මක වීමත් සමඟ මෙතෙක් පැවැති අතින් සිදුකෙරුණු (Manual Process) ලේඛන භාරගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. රේගු නිෂ්කාශන කටයුතු වඩාත් වේගවත්, කාර්යක්ෂම හා පාරදෘශ්‍ය ලෙස සිදු කිරීම සහ වංචා හා දූෂණ අවස්ථා අවම කිරීම මෙම පද්ධතියේ ප්‍රධාන අරමුණයි.මේ වන විටත් සමාගම් 1,144ක් මෙම ඩිජිටල් පද්ධතිය සමඟ සාර්ථකව සම්බන්ධ වී තිබේ.
උත්සව සභාව ඇමතූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ, ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයින්ට ආනයන-අපනයන ක්‍රියාවලීන් සියල්ල අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සලසන “ජාතික තනි කවුළුව” (National Single Window) ස්ථාපිත කිරීමේ ගමනේ මෙය තීරණාත්මක පියවරක් බවයි. එසේම, ශ්‍රී ලංකා රේගුව මේ වන විටත් මෙරට වසරේ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207 ආසන්නයට පැමිණ ඇති බවත්, ලබන වසරේදී ජාතික ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 2,000 දක්වා ඉහළ නැංවීමට සහ සමස්ත බදු ව්‍යුහය සරල කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආදායම් එකතු කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, වෙළෙඳ පිරිවැය අඩු කිරීම සහ වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ආදායම් පාලන ප්‍රතිසංස්කරණ හා නූතනකරණ කාර්යාංශය පිහිටුවූ බව පැවසීය. එළඹෙන කාර්තුව අවසන් වන විට රේගුව සිය ආදායම් ඉලක්කය ඉක්මවා යනු ඇති බවට විශ්වාසය පළ කළ ඔහු, මෙම ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකා රේගුව ආසියාවේ ප්‍රමුඛතම රේගු ආයතනයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේය.

 

මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට ගත් පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ ගොස් ඇති බවත්, මෙම කඩදාසි රහිත පද්ධතිය රාජ්‍ය ආයතන කිහිපයක සාර්ථක එකමුතුවට හොඳම උදාහරණයක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළේය.

 

වසර 200කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා රේගුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ආයතනික කාර්යක්ෂමතාව හා සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණයන් අඛණ්ඩව වැළඳගන්නා බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගමගේ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here