ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා ඉන්දීය ධීවරයින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ධීවරයින් ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමේදී මෙම නිරීක්ෂණ සිදුකර ඇත.
සංජේ කුමාර් සහ සංජීව් සච්දේව් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම ඊයේ සලකා බැලුණි.
එහිදී ඉන්දීය ධීවරයින්ට ජාත්‍යන්තර මුහුදු සීමාවේ පිහිටීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම සහ එම සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස ඔවුන් දැනුවත් කිරීම වැදගත් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.
විනිසුරු සංජේ කුමාර් සඳහන් කර ඇත්තේ ඉන්දීය වෙරළ තීරයට ආසන්න මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය සම්පත් අධික ලෙස භාවිත කර ඇති බවක් පෙනී යන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සිය වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කර ඇති බව පෙනී යන බවද විනිසුරුවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවක් සිහිපත් කරමින් විනිසුරුවරයා, ශ්‍රී ලාංකික ජනතාවගේ වගකීම් සහගත හැසිරීම පිළිබඳවද අදහස් පළ කර ඇති අතර, එවැනි පරිසර හිතකාමී ප්‍රවේශයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත් සංරක්ෂණයට දායක වී තිබිය හැකි බවද පෙන්වා දී ඇත.
මේ අතර කච්චතීවු දූපත යළි පවරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාව සමඟ පවතින යහපත් සබඳතා කච්චතීවු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හේතුවෙන් පලුදු කර ගැනීමට ඉන්දීය මධ්‍යම රජයට කිසිදු අදහසක් නොමැති බවද නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

