පාසල් හා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රවල පරිගණක පහසුකම් නංවාලීමට විශේෂ ව්‍යාපෘතියක්

0
12

දිවයින පුරා පිහිටි තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන (ITDLH) සහ ද්විතීයික පාසල්වල පරිගණක පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් වසර පහක විශේෂ ව්‍යාපෘතියක් මෙවර අයවැයට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

2026 වසරේ සිදුකළ විගණනයකින් අනාවරණය වී ඇත්තේ 2014 වසරෙන් පසුව බොහෝ ස්ථානවලට අලුතින් පරිගණක උපකරණ ලැබී නොමැති බවයි. දැනට පවතින උපකරණවලින් බොහොමයක් අලුත්වැඩියා කළ නොහැකි මට්ටමේ පවතින බැවින්, ද්විතීයික පාසල්වලටමුල්තැන දෙමින් අලුතින් උපකරණ ලබාදීමේ පස් අවුරුදු සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඇය කියා සිටියාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව යටතේ ක්‍රියාත්මක වන ITDLH මධ්‍යස්ථාන 109ක් දිවයින පුරා පිහිටා ඇත. කලින් ‘පරිගණක සම්පත් මධ්‍යස්ථාන’ (CRC) ලෙස හැඳින්වුණු මේවා මඟින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට කෙටි කාලීන ICT පාඨමාලා, පාසල් හැරගිය අය සඳහා NVQ පාඨමාලා, ගුරු පුහුණු සහ මහජනතාව සඳහා තොරතුරු තාක්ෂණ පුහුණු පැවැත්වීම මෙන්ම ඔන්ලයින් විභාග සහ විශ්වවිද්‍යාල අයදුම්පත් යොමු කිරීමට පහසුකම් සැලසීම වැනි සේවාවන් රැසක් ඉටු කරනු ලබයි.

කෙසේ වෙතත්, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, දෙහිඅත්තකණ්ඩිය, මහඔය, කන්තලේ සහ මඩකලපුව වැනි ඇතැම් ප්‍රදේශවල තවමත් ITDLH මධ්‍යස්ථාන නොමැති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ගුරුවරුන් විශ්‍රාම යෑමෙන් පසු නව ගුරුවරුන් අනුයුක්ත නොකිරීම, උපකරණ හිඟකම සහ ප්‍රමාණවත් සිසුන් නොමැතිකම නිසා මීට පෙර පැවති ඇතැම් මධ්‍යස්ථාන වැසී ගොස් තිබේ.

නව ගොඩනැගිලි ඉදි කිරීමට 2024, 2025 සහ 2026 වසරවල ප්‍රතිපාදන වෙන් නොවීම හේතුවෙන් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී නැත. එබැවින්, අදාළ කලාපවල නව මධ්‍යස්ථාන ඉදිකිරීමට යළිත් සාකච්ඡා කරමින් පවතින අතර, අනුමැතිය ලැබුණු පසු 2027 වසර වන විට මෙම මධ්‍යස්ථානවල සහ ද්විතීයික පාසල්වල පහසුකම් අවශ්‍යතාවයෙන් අවම වශයෙන් 50%ක්වත් සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here