ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 9 දක්වා ඉහළ නංවයි

0
10

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දමා සියයට 8.75 සිට සියයට 9 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (19) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.

මැදපෙරදිග ගැටුම් අපේක්ෂිත කාලයට වඩා දිගු වීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ මට්ටමක පැවතීම සහ ආහාර මිල ඉහළ යාම මෙරට උද්ධමන පීඩනය ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස 2026 ඔක්තෝබර් මාසයේදී වාර්ෂික උද්ධමනය සියයට 8.3 දක්වා ඉහළ ගොස් ඇති අතර, මූලික උද්ධමනය ද ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

ගෝලීය බලශක්ති මිල ගණන් මෑතකදී තරමක් පහළ ගියද, පෙර මිල ඉහළ යාම්වල දෙවන වටයේ බලපෑම් හේතුවෙන් ඉදිරියේදීත් මිල පීඩනයක් පැවතිය හැකි බව මහ බැංකුව අනතුරු අඟවයි.

නව පුරෝකථන අනුව උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක සහ දිගු කාලයක් පැවතිය හැකි අතර, 2027 දෙවන භාගයේදී සියයට 5ක ඉලක්කය වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 මැයි මාසයේදී ගත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළෙඳපොළ පොලී අනුපාත දැනටමත් සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here