‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනයට එක්වන ලෙස සෞදි අරාබියේ රියාද් වාණිජ මණ්ඩලයට නිල ආරාධනයක්

0
20

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා සහ රියාද් වාණිජ මණ්ඩලයේ සභාපති ඉංජිනේරු අබ්දුල්ලා අබ්දුල්රහ්මාන් අල්-ඔබෙයිකාන් මහතා අතර හමුවක් පවත්වා තිබේ. එහිදී දෙරටේ පෞද්ගලික අංශයන් අතර පවතින වෙළඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එහිදී, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස තානාපතිවරයා විසින් රියාද් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසට නිල වශයෙන් ආරාධනා කරන ලදී.

2026 ඔක්තෝබර් 12 සහ 13 යන දිනවල කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Economic and Investment Summit’ ආයෝජන සමුළුවට එක්වී ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස රියාද් වාණිජ මණ්ඩලයේ ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින ලදී.

සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය (FSC) සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) එක්ව ‘සෞදි – ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිලය’ පිහිටුවීම ඇතුළු පෞද්ගලික අංශයේ මෑතකාලීන ප්‍රගතිය පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනයට සමගාමීව උසස් පෙළේ ‘සෞදි – ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල’ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටද මෙහිදී යෝජනා විය.

ශ්‍රී ලංකා වෙළඳ නියෝජිත පිරිස්වලට සහ B2B සාකච්ඡාවලට ලබාදෙන අඛණ්ඩ සහයෝගයට තානාපතිවරයා කෘතඥතාව පළ කළ අතර, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව රියාද් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයාද මෙහිදී අවධාරණය කළේය.

මෙම හමුව සඳහා සෞදි – ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිලයේ සභාපති අබ්දුල් හාදි අල්කර්නි මහතා, රියාද් වාණිජ මණ්ඩලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ මන්සූර් අල්-අජ්මි මහතා මෙන්ම රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here