වසර 10කට පසු බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹයි

0
2
වසර 10ක දිගු විරාමයකින් පසු එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් නැවත ආරම්භ කර තිබේ. ඒ අනුව, එම ගුවන් සේවයට අයත් පළමු ගුවන් යානය සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) වෙත ළඟා විය.
ලන්ඩන් ගැට්වික් (London Gatwick) ගුවන් තොටුපොළේ සිට BA2045 ගුවන් වාරය ලෙස ක්‍රියාත්මක වූ බෝයිං 777-200ER (Boeing 777-200ER) වර්ගයේ ගුවන් යානය මෙලෙස කොළඹට පැමිණීමත් සමඟ එම ගුවන් සේවයේ ශ්‍රී ලංකා මෙහෙයුම් නිල වශයෙන් යළි ආරම්භ විය.
ලන්ඩන් ගැට්වික් සහ කොළඹ අතර සතියකට ගුවන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මෙයින් දෙරට අතර ගුවන් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වේ.
මෙම නව ගුවන් ගමන් වාර ශීත ඍතු කාලසටහන (Winter Schedule) යටතේ සෘතුමය සේවාවක් (Seasonal Service) ලෙස ක්‍රියාත්මක වන අතර, මගීන් සඳහා Economy, Premium Economy සහ Business Class යන පන්ති ත්‍රිත්වයම යටතේ ආසන පහසුකම් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ හේලීස් (Hayleys) සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Advantis Aviation Services ආයතනය බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විකුණුම් නියෝජිතයා (GSA) ලෙස කටයුතු කරයි.
එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානතම වෙළඳපොළක් වන බැවින්, මෙම ගුවන් ගමන් යළි ආරම්භ වීමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට විශාල උත්තේජනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව, දෙරට අතර ව්‍යාපාරික ගමන් බිමන් පහසු වීම මෙන්ම වෙළඳ, සංචාරක සහ ජනතා අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය වීමටද මෙය මහෝපකාරී වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here