ලෝකයේ පළමු න්‍යෂ්ටික ඔරලෝසුව චීනයෙන් හඳුන්වා දෙයි

0
19

චීන විද්‍යාඥයින් පිරිසක් විසින් ලෝකයේ ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කර තිබේ. කාලය මැනීමේ නිරවද්‍යතාව අනාගතයේදී අතිශය ඉහළ මට්ටමකට ගෙන යා හැකි මෙම සුවිශේෂී විද්‍යාත්මක ජයග්‍රහණය, ගෝලීය තාක්ෂණ ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

මෙම නව ඔරලෝසුව නිර්මාණය කිරීම සඳහා චීන කණ්ඩායම විසින් තෝරියම්-229 සමඟ මාත්‍රණය කරන ලද කැල්සියම් ෆ්ලෝරයිඩ් ස්ඵටික මෙන්ම, තමන් විසින්ම නිපදවන ලද නැනෝමීටර 148ක තරංග ආයාමයකින් යුත් රික්ත පාරජම්බුල ලේසර් තාක්ෂණයද සාර්ථකව භාවිත කර ඇත. මෙහිදී ලේසර් ආලෝකයේ ආධාරයෙන් තෝරියම්-229 පරමාණුවේ න්‍යෂ්ටිය තුළ පවතින ශක්ති මට්ටම් අතර සංක්‍රාන්ති ඇති කිරීමට ඔවුන් සමත් වී තිබේ.

වර්තමානයේ භාවිත වන සාමාන්‍ය පරමාණුක ඔරලෝසු ඉලෙක්ට්‍රෝන මත රඳා පැවතුණද, මෙම නව ඔරලෝසුව පරමාණුක න්‍යෂ්ටිය තුළ සිදුවන ශක්ති සංක්‍රාන්ති මත පදනම්ව කාලය නිරවද්‍ය ලෙස මැනීම විශේෂත්වයකි.

විශේෂඥයින් පෙන්වා දෙන පරිදි, මෙම නව සොයා ගැනීමත් සමඟ ක්වොන්ටම් මිනුම් තාක්ෂණය පරමාණුක න්‍යෂ්ටි පරිමාණය දක්වා තවදුරටත් දියුණු වී ඇති අතර එය ක්වොන්ටම් පාලනය සඳහා නව දොරටු විවර කර දී ඇත. ඒ අනුව, මීළඟ පරම්පරාවේ ගෝලීය කාල ප්‍රමිතිය බවට මෙම න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව පත්වනු ඇති බව විද්‍යාඥයින්ගේ දැඩි විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here