පළාත් කිහිපයකට පස්වරුවේ වැසි – මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වීමේ අවදානමක්!

0
19

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර 25ත් 35ත් අතර අගයක් ගනු ඇත.

එමෙන්ම, හලාවත සිට මන්නාරම හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-45 දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here