තම ආයතනයට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් පෞද්ගලික සහ ව්‍යාපාරික තොරතුරු ඇතුළත් සීමිත දත්ත ප්‍රමාණයකට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) තහවුරු කර තිබේ.
මෙම සිදුවීම හරහා FIFA සතු සමස්ත දත්ත ප්‍රමාණයෙන් 0.1% කටත් වඩා අඩු ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය එල්ල වූ නිශ්චිත දිනයක් හෝ සොරාගෙන ඇති දත්තවල ස්වභාවය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු FIFA විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සූරිච් නුවර පිහිටි FIFA මූලස්ථානය නිවේදනය කර ඇත්තේ, තොරතුරු සහ විශේෂයෙන්ම පෞද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස ලබාගැනීම සහ ප්‍රසිද්ධ කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. එවැනි ක්‍රියා පෞද්ගලිකත්වය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, ඉන් අදාළ පුද්ගලයන්ට බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකි බව ද එම සම්මේලනය පෙන්වා දෙයි.
මේ අතර, ‘Handsome Boy Hacking Club’ නමින් හඳුන්වාගන්නා හැකර් කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් FIFA ආයතනයේ අභ්‍යන්තර ලේඛන ගිගාබයිට් 12කට (12 GB) අධික ප්‍රමාණයක් සොරාගත් බවට ප්‍රකාශ කර ඇත. හැකර්වරුන් FIFA නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙම තොරතුරු වෙත ප්‍රවේශ වී ඇති බවට ද වාර්තා පළ වේ.
මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන අදාළ බලධාරීන් සමඟ එක්ව විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව FIFA වැඩිදුරටත් සඳහන් කරයි.

