ඩුබායි හි පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කරමින් තමන් හිමිකරගත් 8 වන ආසියානු කුසලාන ශූරතාවයේ කුසලානය, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගෙන් භාර නොගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) තීරණය කළේය.
පෙර සිටම තමන් මේ පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර තිබූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන අතර, එය පාලක මණ්ඩලයේ තීරණයක් බැවින් කණ්ඩායමක් ලෙස තමන්ද ඊට එකඟ වූ බව ඉන්දීය ප්‍රධාන පුහුණුකරු අමෝල් මුසුම්දාර් තහවුරු කළේය.
ත්‍යාග ප්රදානෝත්සවය ආරම්භ වීමට විනාඩි 40ක පමණ ප්‍රමාදයක් සිදු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වෙත අනුශූරතා චෙක්පත නක්වි විසින් පිරිනැමුවද, ඉන්දීය කණ්ඩායමට ශූරතා පදක්කම් හෝ කුසලානය පිරිනමන අයුරු සජීවී විකාශයෙන් පෙන්වීම නතර කෙරිණි.
දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක තත්ත්වයන් පදනම් කරගනිමින්, පසුගිය වසරේ පැවැති පිරිමි ආසියානු කුසලාන ශූරතාවයෙන් පසුවද ඉන්දීය පිරිමි කණ්ඩායම පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද වන නක්විගෙන් කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව මෙවර ඉන්දීය කාන්තා කණ්ඩායමද නිල කුසලානය නොමැතිවම පෙරළා ඉන්දියාව බලා නික්ම යාමට නියමිතය.

