දහවල් කාලයෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

0
11

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයට අනුව, අද දිනයේ පස්වරු 1.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අපේක්ෂා කෙරේ.

මෙහිදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත්, පොළොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. එසේම, නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මීට අමතරව, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමට ඉඩ ඇති බැවින් රිය පැදවීමේදී සැලකිලිමත් වන ලෙස දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here