අමෙරිකානු ‘Pew Research Center’ විසින් නිකුත් කරන ලද ‘Spring 2026 Global Attitudes Survey’ වාර්තාවට අනුව, දකුණු ආසියානු කලාපයේ අසල්වැසි රටවල ජනතාව අතර වැඩිම හිතකර සහ ධනාත්මක මතයක් ගොඩනඟාගෙන ඇති එකම රට බවට ශ්රී ලංකාව පත්ව තිබේ.
ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල ජනතාව තම කලාපීය අසල්වැසියන් කෙරෙහි දක්වන ආකල්ප විශ්ලේෂණය කරමින් මෙම සමීක්ෂණය පවත්වා ඇත. 2026 පෙබරවාරි 8 සිට මැයි 7 දක්වා කාලය තුළ සිදුකර ඇති මෙම දත්ත රැස්කිරීම සඳහා ශ්රී ලාංකිකයින් 2,513 දෙනෙකු ඇතුළුව කලාපයේ 8,000කට අධික පිරිසක් දායක කරගෙන තිබේ.
සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පරීක්ෂාවට ලක්වූ අනෙක් දකුණු ආසියානු රටවල් තුනෙහිම බහුතර ජනතාව ශ්රී ලංකාව කෙරෙහි දක්වන අහිතකර ආකල්පවලට වඩා හිතකර ආකල්ප කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පවතින බවයි. එමෙන්ම, ශ්රී ලාංකිකයන් අතරද ඉන්දියාව පිළිබඳව ඉතා ඉහළ ධනාත්මක සහ යහපත් ආකල්පයක් පවතින බව මෙම වාර්තාව මඟින් වැඩිදුරටත් තහවුරු කර ඇත.

