දකුණු ආසියාතික කලාපීය පරම්පරාගත උරුමයන් පිළිබඳ නේපාලයේ පැවැති සාර්ක් (SAARC) සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලාංකේය මහාචාර්යවරුන්ගෙන් විශිෂ්ට නියෝජනයක්

0
17

නේපාලයේ පැවැති බහු-සංස්කෘතික උරුමයන් පිළිබඳ සාර්ක් (SAARC) කලාපීය සම්මන්ත්‍රණයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය මහාචාර්යවරුන් තිදෙනෙක් සහභාගී වූහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය මත මෙලෙස සහභාගී වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය රෝහිත දසනායක, මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංකා විරාජිනී මැදගෙදර කටුනාරත්න සහ මහාචාර්ය ගායත්‍රි මධුභාෂිණී රණතුංග යන මහත්ම මහත්මීන්ය. ඔවුන් “Interpreting Shared Heritage: Cross-Cultural Narratives in Museums in the SAARC Region” (සාර්ක් කලාපයේ කෞතුකාගාරයන්හි බහු-සංස්කෘතික කතිකාවන් සහ සංස්කෘතික උරුමයන් අර්ථකථනය කිරීම) තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයට එක්වූහ.

මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය (SAARC Cultural Centre) සහ නේපාලයේ සංස්කෘතික, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබුණි.

එහිදී ශ්‍රී ලාංකේය නියෝජිත පිරිස “Establishing the Ehelepola Walawwa Wax Museum in the UNESCO Heritage City of Kandy, Sri Lanka: The Nation’s First Wax Museum as Repository and Communicator of Royal Costume Heritage” (මහනුවර යුනෙස්කෝ ලෝක උරුම නගරයේ ඇහැලේපොළ වලව්ව ඉටි රූප කෞතුකාගාරය ස්ථාපිත කිරීම: රාජකීය ඇඳුම් ආයිත්තම් උරුමය සුරක්ෂිත කරන සහ සන්නිවේදනය කරන ශ්‍රී ලංකාවේ පළමු ඉටි රූප කෞතුකාගාරය) යන මැයෙන් ඒකාබද්ධ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළහ.

මෙම සම්මන්ත්‍රණය 2026 සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 1 දක්වා නේපාලයේ ලලිත්පූර් හි හොටෙල් ස්කුවෙයාර් හිදී පැවැති අතර, ඔක්තෝබර් 2 වැනිදා විශේෂ කෞතුකාගාර අධ්‍යයන චාරිකාවක්ද සංවිධානය කර තිබුණි.

කෞතුකාගාර හරහා පොදු සංස්කෘතික උරුමයන් අර්ථකථනය කිරීම, සුරක්ෂිත කිරීම සහ සන්නිවේදනය කිරීම පිළිබඳ කලාපීය සංවාදයට සක්‍රීයව දායක වීමට මෙමගින් ශ්‍රී ලාංකේය මහාචාර්යවරුන්ට විශාල අවස්ථාවක් හිමිවිය.

මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වීම පිළිබඳව පර්යේෂකයන් කන්ද උඩරට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමාට සිය කෘතඥතාව පළ කළහ. එසේම මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍‍යක්ෂ ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ මහතාට සහ සංස්කෘතික විශේෂඥ (පර්යේෂණ) අප්සරා කරුණාරත්න මහත්මියටද ඔවුන්ගේ ස්තූතිය පිරිනැමූහ.

May be an image of text May be an image of dais and text

May be an image of one or more people, dais and text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here