තෙලන්ගානාවේ විදුහල්පතිනිය 27 වතාවක් කපා කොටා ඝාතනය කළ 10 වසරේ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

0
32

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නල්ගොන්ඩා දිස්ත්‍රික්කයේ පිහිටි පෞද්ගලික පාසලක 48 හැවිරිදි විදුහල්පතිනියක ඇගේ නිවස තුළදී තියුණු ආයුධවලින් 27 වතාවක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේම 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ නගාර්ජුනා පාසලේ විදුහල්පතිනිය මෙන්ම අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කළ කල්ලු රූපා රෙඩ්ඩි නැමැති කාන්තාවකි. හයිද්‍රාබාද් නගරයේ සිටි ඇගේ සැමියා විසින් දුරකථන ඇමතුම් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා අසල්වාසීන් සහ පොලිසිය ලවා පරීක්ෂා කිරීමේදී, අගෝස්තු 12 වැනිදා ඇගේ මළසිරුර නිවස තුළ තිබී සොයාගන්නා ලදී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය, CCTV දර්ශන 70 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කරමින් පුද්ගලයින් 80 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

විමර්ශනවලදී වැදගත්ම හෝඩුවාව ලැබී ඇත්තේ මියගිය විදුහල්පතිනිය ඇගේ නැන්දණිය සමග කළ අවසන් දුරකථන ඇමතුමෙනි. දුරකථනය ක්‍රියා විරහිත වීමට මොහොතකට පෙර ඇය තෙලන්ගානා ප්‍රදේශයේ පිරිමි ළමුන් ඇමතීමට භාවිත කරන “බාබු” යන වචනය පවසා තිබේ.

ඒ අනුව පරීක්ෂණ පාසල් සිසුන් දෙසට යොමු කළ පොලිසිය, සිද්ධියෙන් පසු පාසලට පැමිණ නොසිටි 10 වසරේ සිසුන් පස්දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් සිසුන් දෙදෙනෙකු හදිසියේ අධික ලෙස මුදල් වියපැහැදම් කරමින් සාද පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මීට පෙර ඔවුන්ගේ නේවාසිකාගාර බෑග්වල තිබී මුදල් සහ ජංගම දුරකථනයක් හමුවීම නිසා විදුහල්පතිනිය විසින් දෙමාපියන් ඉදිරියේ ඔවුන්ට දොස් පවරා නේවාසිකාගාරයෙන් ඉවත් කර ඇති බවයි. එම වෛරය සහ පාසල් ගාස්තු එකතු කරන කාලය නිසා නිවසේ විශාල මුදලක් ඇති බවට වූ සැකය මත සිසුන් දෙදෙනා දින කිහිපයක් තිස්සේ මෙම සොරකම සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here