තමන් විදේශීය රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍ය නායක මුක්තියට (Sovereign Immunity) හිමිකම් කියන බැවින්, තමන්ට එරෙහිව ගොනුකර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස වෙනෙසුවේලාවේ ධුරයෙන් පහකළ ජනාධිපති නිකොලස් මධුරෝ ඇමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටී.
මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් මධුරෝගේ නීතිඥ බැරී පොලැක් (Barry Pollack) සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර නීතියට අනුව විදේශීය රාජ්‍ය නායකයෙකුට වෙනත් රටක අධිකරණයකින් නඩු පැවරීමට එරෙහිව මුක්තිය හිමිවන බවයි. එමෙන්ම අධිචෝදනා පත්‍රයේ දක්වා ඇති ක්‍රියාවන් මධුරෝ විසින් සිදුකර ඇත්තේ වෙනෙසුවේලානු නායකයා ලෙස ඔහුගේ නිල රාජකාරීවල කොටසක් ලෙස බව ද විත්තිය තර්ක කරයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති මධුරෝ, දැනට බෲක්ලින්හි ෆෙඩරල් රැඳවුම් භාරයේ පසුවේ. මහා පරිමාණ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ කුමන්ත්‍රණයකට ඔහු සහ ඔහුගේ සමීපතමයින් සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මෙම නඩුවට පදනම් වී ඇත.
මෙම වසර මුලදී කැරකස් නුවර සිදුකළ ඇමෙරිකානු හමුදා මෙහෙයුමකින් මධුරෝ අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන එනු ලැබීය. එම හමුදා මෙහෙයුමේ නීත්‍යානුකූලභාවය සහ තමන්ට නඩු පැවරීමට ඇමෙරිකානු අධිකරණයට ඇති බලය පිළිබඳව ද ඔහුගේ නීතිඥයින් ප්‍රශ්න කර ඇත.
කෙසේ වෙතත්, 2019 වසරේ සිට ඇමෙරිකාව මධුරෝ වෙනෙසුවේලාවේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම, අතීතයේදී ද ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් හෝ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ ආකාරය පදනම් කරගනිමින් අපරාධ නඩු ඉවත් කිරීමට ඇමෙරිකානු අධිකරණ කටයුතු කර නොමැත.
1990 දී ඇමෙරිකානු හමුදා භාරයට ගෙන පසුව මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වූ පැනමා හි හිටපු නායක මැනුවෙල් නොරියෙගා (Manuel Noriega) ඉදිරිපත් කළ මෙවැනිම මුක්ති තර්කය ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
ඇමෙරිකානු පැමිණිලි පාර්ශවය ඉදිරියේදී මධුරෝගේ මෙම ඉල්ලීමට එරෙහිව කරුණු දැක්වීමට නියමිත අතර, නඩුව ඉවත දමන ලෙස කළ ඉල්ලීම පිළිබඳ වාචික කරුණු දැක්වීම් ලබන නොවැම්බර් 17 වන දා පැවැත්වීමට නියමිතය. මෙම පෙත්සම ප්‍රතික්ෂේප වුවහොත්, මධුරෝගේ නඩු විභාගය 2027 ජූනි 01 වන දා ආරම්භ වීමට නියමිතව ඇත.

