ඩිජිටල් යුගයේ පැමිණීමත් සමග මෙරට සිදුවන ළමා අපයෝජනවල ස්වරූපය වෙනස් වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසර කිහිපය තුළ ලැබුණු පැමිණිලි විශ්ලේෂණයේදී මේ බව පැහැදිලි වන බවයි.
සමාජ මාධ්‍ය හරහා ළමුන් හිංසනයට ලක්වීම, අඛණ්ඩව පාසල් නොයෑම, දෙමාපිය ආරවුල්, මව්වරුන් විදේශගතවීම මෙන්ම අධික ලෙස ඩිජිටල් තිර (Digital Screens) භාවිතය නිසා ළමුන්ගේ අධ්‍යාපනය හා ළමා කාලය අහිමිවීම වැනි ප්‍රවණතා ඉහළ ගොස් ඇති බව ඇය පෙන්වා දෙයි.
ළමා අපයෝජන සිදුවීම් කිසිසේත්ම සමතයකට පත්කළ නොහැකි බවත්, එවැනි සිදුවීමක් වාර්තා වූ වහාම 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙසත් සභාපතිවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ළමා ආරක්ෂාවේ ප්‍රථම වගකීම පවුලෙන් ආරම්භ විය යුතු බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

