2026 ආරක්ෂක සේවා අත්පන්දු (Hand Ball) තරගාවලියේ කාන්තා අංශයේ කීර්තිමත් ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
ආරක්ෂක සේවා ක්රීඩා උළෙලට අත්පන්දු ක්රීඩාව හඳුන්වා දුන් දා සිට අද දක්වා පැවැති සෑම තරගාවලියකදීම කිසිදු පරාජයකට මුහුණ නොදී ශූරතාව දිනා ගැනීමට සමත් වූ ගුවන් හමුදා ක්රීඩිකාවන්, මෙවරත් එම අපරාජිත වාර්තාව අඛණ්ඩව 7 වැනි වරටත් අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයකි.
මෙම තරගාවලියේ ජයග්රාහකයන්ට කුසලාන සහ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රීඩා සංකීරණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, ඊට යුද හමුදා අත්පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රොහාන් මැදගොඩ මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය.
මීට අමතරව, එයාර් කොමඩෝර් උදිත පියසේන, ශ්රී ලංකා ගුවන් හමුදා අත්පන්දු කමිටුවේ සභාපති එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි යන මහත්වරුන් ඇතුළු ත්රිවිධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ ක්රීඩක ක්රීඩිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

