කොළඹ වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 17 ක මූල්ය ප්රදානයක් ලබා දී තිබේ.
මෙම මූල්ය ආධාරය ලබා දීමත් සමඟ මෙරට අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා අද (16) පෙරවරුවේ වරාය පරිශ්රය වෙත පැමිණි අතර, වරාය නියමු නාවික මධ්යස්ථානය වෙත පැමිණි ඒ මහතා වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මෙන්ම වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක යන මහත්වරුන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ, අමෙරිකානු තාක්ෂණය කොළඹ වරායට හඳුන්වා දීම හරහා භාණ්ඩ මෙහෙයුම් වේගවත් කර ගැනීමටත්, වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කරමින් දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටත් එය මහඟු රුකුලක් වන බවය. ගෝලීය වෙළඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මෙම වරාය නිරීක්ෂණය තුළින් තවදුරටත් අවබෝධ කරගත් බවද ඔහු පැවසීය.
මෙම ආධාර මුදල නාවික තනි කවුළුව (Maritime Single Window) සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ හරහා වරාය සේවා ලබාගන්නා සියලු පාර්ශ්වයන්ට විශාල පහසුවක් සැලසෙන බවත් අමාත්ය අනුර කරුණාතිලක මහතා ප්රකාශ කළේය. එමෙන්ම, මෙම ප්රදානය වෙනුවෙන් අමෙරිකානු රජයට සහ ජනතාවට මෙරට රජයේ ස්තූතිය පුද කරන බවද හෙතෙම සඳහන් කළේය.
වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා මාධ්ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මේ වසර තුළ බහාලුම් මිලියන 09 ක් මෙහෙයවීමට අපේක්ෂා කරන අතර, එයින් 80% ක්ම ප්රතිනැව්ගත කිරීම් බවය. මෙම ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් මෙහෙයුම් මඟින් ගෝලීය වෙළඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 250 කට අධික වන බවත්, එය ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ඉතා විශාල දායකත්වයක් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

